How to make a “Kiri Ahara Pooja” in Anuradhapura Sri Lanka

කිරිපිඩු පූජාව (Kiripidu Poojawa) දිය නුමුසු කිරි ආහාර නිවැරදිව සකස් කර ගන්නේ මෙහෙමයි.

 

අප ගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා දිය නුමුසු කිරි ආහාර නිවැරදිව සකස් කර ගන්නේ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
(මෙහි දක්වා ඇත්තේ සහල් කිලෝ එකකට අදාළ ප්‍රමාණයන් ය.)

සුවඳැල් සහල් – 1 kg
වියලි කජු මද – 125g
වියලි මිදි – 200g
රට ඉඳි – 250g
ඇපල් ගෙඩි – 2යි
තැඹිලි ගෙඩි – 4යි
එළ කිරි – ලීටර් 5යි
ඇන්කර් හෝ හයිලන්ඩ් බටර් – 100g
එනසාල් – 15g
 කරාඹු නැටි – 15g
 ස්ට්‍රොබෙරි ගෙඩි කිහිපයක්..
 මී පැණි කාලක් පමණ…

සාදා ගන්නා ආකාරය..

සුවඳැල් සහල් ගෙන තැඹිලි වතුරෙන් හොඳින් සෝදා ගන්න. ඉන්පසු තැඹිලි වතුරේම පෙගෙන්නට තබන්න. එනසාල් සහ කරාඹු නැටි බැදගෙන, කුඩු වන ලෙස කොටාගෙන, එය එළකිරි ස්වල්පයක දමා තම්බා ගන්න. ඉන්පසු එම එළකිරි ස්වල්පය පෙරා ගෙන වෙනම තබා ගන්න. එළ කිරි ලීටර් 5 ගෙන ප්‍රමාණවත් භාජනයකට දමා රත්කරන්න.. එය නටන තරමට රත් වූ විට, එයට කරාඹු නැටි සහ එනසාල් තැම්බූ එළකිරි ද, බටර් ද එක් කරන්න. ස්වල්ප වේලාවක් තබා පෙ‍ඟෙන්නට තැබූ සුවඳැල් හාල් ගෙන නටන කිරි එකට එක් කරන්න. ඉන්පසු කර වීම වැලැක්වීම පිණිසත් උතුරා ඉවත් වීම වැළැක්වීම පිණිසත් දිගටම හැඳිගාන්න.. හැඳිගාන අතර තුර, සහල් ඇට පොඩි වන තරමට ඉදී තිබේ දැයි වරින් වර පරීක්ෂා කරන්න. යම් තරමකට ඉදී ගෙන එන විට එයට කජු එකතු කරන්න. සහල් ඇට හොඳින් පොඩි වන මට්ටමට එන්නට ටික වේලාවකට පෙර වියලි මිදි ස්වල්පයක් ද රට ඉඳිද එක් කර ගන්න. සහල් ඇට සම්පූර්ණයෙන් ම අතින් පොඩි කළ හැකි මට්ටමට ආ විට ලිපෙන් බාගන්න. වියලි මිදි එක් කළ යුත්තේ ලිපෙන් බා ගන්නට ටික වේලාවකට පෙරය. නැතිනම් වියලි මිදි වැඩි පුර තැම්බී රසය වෙනස් වේ. ලිපෙන් බා ගන්නා විට කිරි ආහාරය උකුවට තිබිය හැකි ය. එය ගැටලුවක් නොවේ. උකු භාවය නැති වන තෙක් රත් කිරීමෙන් වළකින්න. ලිප මත තැබිය යුත්තේ, සහල් ඉදෙන තෙක් පමණයි. ලිපෙන් බාගත් කිරි ආහාර පිරිසිදු හැන්දකින් ඉතා පිරිසිදු පාත්‍රයකට බෙදා ගන්න. උකුවට තිබුන ද පාත්‍රයට දමා ටික වේලාවකින් උකු භාවය නැති වී ඝන බවට පත් වේ. ඉන් පසු මී පැණි ප්‍රමාණවත් අයුරින් සුන්දර ව රවුමට එක් කරන්න. එසේ ම අලංකාරව කපා ගත් ඇපල් ද ස්ට්‍රෝබෙරි ද, කජු ස්වල්පයක් සහ වියලි මිදි ද එම කිරි ආහාරයට උඩින් එය සැරසීම පිණිස සුදුසු අලංකාර ආකාරයට අතුරන්න. ඉන්පසු සුන්දර ආවරණයකින් වසා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා මහත් ශ්‍රද්ධාවෙන් පූජා කරන්න. —— මෙහි දී මුඛවාඩම් බැඳගෙන (මාස්ක් – mask), පිරිසිදු ස්ථානයක, පිරිසිදු ඇදුම් පැළදුම් ආදිය ඇඳගෙන කිරි ආහාර සකස් කිරීම ඉතා යෝග්‍ය වේ. එසේ ම උඩුවියන් ආදිය ද බැඳගත හැකි නම් ඉතා හොඳයි. බුදුගුණ සජ්ඣායනාවක් වැනි යමක් හෝ පිරිත් හෝ ඇසෙන්නට දමා ගෙන බුදු ගුණම සිතමින් ඒවා සකස් කරන්න. කෙළ බිඳිති ආදිය විසිවීමට ඉඩ ඇති නිසා ශබ්ද නගමින් කථා බස් කිරීමෙන් වළකින්න (මුඛ වාඩම් බැඳගැනීමෙන් මෙය වළක්වා ගත හැක). මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ්‍රද්ධාවෙන් සකස් කරගත් කිරි ආහාර සිල්වත්ව මහත් සැදැහැයෙන් කර්ම කර්ම ඵල අදහාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත් ආනිශංස ලැබේ..!! තෙරුවන් සරණයි..!!!

Source: https://kiripidupoojawa.blogspot.com/